
විදේශ විනිමය හිඟය රටට බලපා ඇති දරුණු ප‍්‍රශ්නයකි. පිටරටවලින් භාණ්ඩ ගෙන්වීම පාලනය කර තිබේ. වසර ගණනක් ආනයන පාලනය කර තිබුණ රට තුළ ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පවා හිඟයක් පවතී. රෝහල්වල බෙහෙත් නැත. කර්මාන්ත හා ව්‍යාපාරවලට අවශ්‍ය මෙවලම් හිඟය. රථවාහන අමතර කොටස් හා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය හිඟය බරපතළ ලෙස බලපා ඇත. එවැනි පසුබිමක් ඉදිරියේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය රටට ගෙන්වා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
අගහිඟ වනවිට ජීවනෝපාය වෙනස් කිරීම නුපුරුදු දෙයක් නොවේ. සාමාන්‍ය ජීවිතයේදී පවා අතට ලැබෙන ආදායම අනුව වෙළෙඳ පොළේදී, මිල දී ගන්නා බඩු භාණ්ඩ තීරණය කරන බව රහසක් නොවේ. රටක ප‍්‍රතිපත්ති පවා විශේෂිත විය යුතුය. අපහසුතා ඇති කාලවකවානුවල තද පාලනයක් අවශ්‍ය කෙරේ. කෙසේ වෙතත් ගෝලීය පරිසරයක් තුළ සමබර තීරණ ගැනීමට සිදුවන බවද අමතක කළ යුතු නැත.
► අපනයන නංවන අතර ආනයන ගැනත් අවධානය
අපනයන කෙරෙහි විශාල අවධානයක් රටට ඇත. ඕනෑම ක‍්‍රමයකින් අපනයනය වැඩි කරගෙන රටට ආදායමක් ලබාගැනීම ප‍්‍රමුඛ කර්තව්‍ය වී තිබේ. විනිමය නොලැබුණහොත් තත්ත්වය තවත් අපහසු විය හැක. දැනටමත් විදේශ ණය ගෙවීම නතර කර ඇති ශ‍්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සඳහා සහන අයැදුම් කර තිබේ. සහන ඉල්ලන්නට හේතුව විදේශ විනිමය හිඟය බව නොරහසකි. අපනයනය, ආයෝජනය, විදේශගත ශ‍්‍රමික ප්‍රේෂණ, හා සංචාරක කටයුතු ප‍්‍රධාන වශයෙන් විදේශ විනිමය ලැබෙන මාර්ග අතර ඇත. පසුගිය කාලය තුළ විදේශ ආදායම අඩු වීමක් දක්නට ලැබුණි. එහි විපාක සමාජයට දැනෙන බව පෙනේ. තමන්ගේ ආර්ථිකයට ගැලපෙන පරිදි ජීවත්වීමට පහසුවක් රහිත ස්වභාවය මත ඇතැම් පිරිස් අතර නොසන්සුන් තත්ත්වයක් පවතී.
කළමනාකරණය ඉගෙනගත යුතු පාඩමකි. පිටරටවලින් ගෙන්වන්නට නම් එම රටවලටද යැවිය යුතුය. සම්ප‍්‍රදායික අපනයන භෝග වශයෙන් තේ, පොල් හා රබර් ඇත. කුළුබඩු, මැණික් ඇතුළු ද්‍රව්‍යද තිබේ. සේවා අංශයේ අපනයනය අලුතින් එකතු වී ඇති කොටසකි. පරිගණක ආශ‍්‍රිත අංශ මෘදුකාංග අපනයනය එහිදී මුල් තැනක් ගෙන තිබේ.
ශ‍්‍රී ලංකාවේ අපනයන මිල දී ගන්නා රටවල්වලින් වැඩි කොටසක් බටහිර ප‍්‍රජාව බව අමතක කළ යුතු නැත. ඇඟළුම්, තේ, රබර්, මත්ස්‍ය නිෂ්පාදන, පොල් හා පොල් ආශ‍්‍රිත දේ යනාදිය දැක්වේ. රුසියාව හා මැද පෙරදිග රටවල් තේ සහ ඇඟළුම් මිල දී ගනී. ඇමරිකාව ශ‍්‍රී ලංකාවේ අපනයන විශාල ප‍්‍රමාණයක් මිල දී ගන්නා නමුත් චීනය හා ඉන්දියාව මිල දී ගන්නා ප‍්‍රමාණය සීමාසහිත බව දැක්විය යුතුව ඇත.
► මිල දී ගන්නා රටවල් විකිණීම ගැනද උනන්දුයි
ශ‍්‍රී ලංකාවේ මෙම ද්‍රව්‍ය මිල දී ගන්නා රටවල්ද ඔවුන්ගේ වෙළෙඳ පරතරය ගැන අවධානයක පසුවන බව අමතක කළ යුතු නැත. ඇමරිකාව සමග ගනුදෙනුවලදී ඔවුන්ට අවාසි ලෙස පවතින්නට එරට ප‍්‍රතිපත්ති ඉඩ නොදේ. යුරෝපා රටවල්, චීනය හෝ ඉන්දියාව පවා තමන්ගේ වෙළෙඳාම ගැනද අවධානයක පසුවේ. ශ‍්‍රී ලංකාව කහ ආනයනය නතර කළ පසු ඉන්දියාව අමනාපයක පසුවිය. යුරෝපා රටවල් අනුගමනය කරන ප‍්‍රතිපත්ති අනුව ඔවුන්ගෙන් මිල දී ගත යුතුය. නොඑසේ නම් යුරෝපා ප‍්‍රජාව පනවන කොන්දේසි අනුව හැසිරෙන්නට සිදුවේ. බි‍්‍රතාන්‍යයේදී පවා එරට ප‍්‍රජාව මතුකරන කරුණු සලකා බලා ශ‍්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලදී ගන්නා ස්වභාවයක් ඇත. එක් කාලයක ඇඟළුම් සඳහා බාධා කරන ලද අතර එයට හේතු වූයේ දෙමළ ජන කොටස්වල විරෝධතා බව මාධ්‍ය වාර්තා කළේය. ශ‍්‍රී ලංකාවෙන් තේ මිල දී ගන්නා රටවල් පවා ඔවුන්ගේ ඉන්ධන ගැනීමට පෙළඹවීමක් කරයි. ඇස්බැස්ටෝස් තහනම පනවන ලද අවස්ථාවේදී ශ‍්‍රී ලංකාව වැඩිම ඇස්බැස්ටෝස් ගෙන්වන රුසියාව මෙරටින් අපනයනය කරන ලද තේවල විශේෂ කෘමියකු සිටි බව දක්වා ඇති කරන ලද ආන්දෝලනය මතක් කළ යුතුය.
අපනයනය පමණක් නොව ආනයනයද තරාදියක දෙපැත්තකි. ආර්ථික විද්‍යාවේ මූලධර්ම අනුව ඉල්ලුම හා සැපයුම මත රඳා පවතී. මුලික න්‍යායෙන් බැහැර විය නොහැකි අතර ඉතා අන්තවාදීව ක‍්‍රියා කරන්නට අවස්ථාවක් නැත. ශ‍්‍රී ලංකාව වෙනත් රටවල දේ මිල දී නොගෙන ශ‍්‍රී ලංකාවට ආධාර, ණය සහන, ආයෝජන හා නිෂ්පාදන මිල දී ගැනීම සඳහා පමණක් රාමුගත විය නොහැක.
පසුගිය කාලය වකවානුව තුළ අනවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ ආන්දෝලනය තුළ මෙම ආකෘතිය පවතී. පසුගිය වසරේ රු. බිලියන 780ක (කෝටි 78,000ක) පිටරටවලින් ආහාර ගෙනැවිත් ඇති බව වාර්තා වේ. එළවළු, සීනි, පළතුරු, ධාන්‍ය වර්ග ගෙන්වා ඇති බව මෙකී වාර්තා අවධාරණය කර තිබේ. 2021 වසරට වඩා පසුගිය අවුරුද්දේදී මෙම අනවශ්‍ය ආනයනය වැඩි බවද සඳහන් වන කරුණකි. පිටරටවලින් ඇතැම් ද්‍රව්‍ය ගෙන්වීම තුළ මධ්‍යස්ථව සලකා බැලිය යුතු තත්ත්වයක්ද ඇත. කොපමණ අගහිඟ ඇති නමුත් ඉතාම දරිද්‍රතාවයක පසුවෙන අවස්ථාවක පවා යමක් මිලදී ගන්නට සිදුවේ. එය පාලනය කරගත හැකි සීමාව තුළ සිදුවීම වැදගත්ය. රට තුළම නිපදවා ගැනීම, වෙනත් රටකින් මිලදී නොගෙන අපනයන වැඩි කරගැනීම වැනි කරුණු ගෝලීය ආර්ථිකයක් තුළ සමබර නොවේ.
ආනයනයේදී බදු අය කෙරේ. බදු ආදායම ජාතික ආර්ථිකයේ විශේෂ පැත්තකි. ආනයන අඩුකර බදු පහත වැටීමකදී එහි වන්දිය ගෙවන්නට පාරිභෝගිකයන්ට පැනවෙන සෘජු බදු වැඩිවිය හැක. දැනට එය අපට අත්විඳින්නට සිදුවී තිබේ. උපයන විට බදු විශාල වශයෙන් වැඩිකිරීම පිටුපස ආනයන බදු අඩුවීමද එක සාධකයකි.
► පසුගිය වසරේ අපනයන වර්ධනයක්
අපනයන මණ්ඩල වාර්තා අනුව ශ‍්‍රී ලංකාවේ අපනයනය පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 13.1 දක්වා සියයට 4.9කින් වර්ධනය වී ඇත. අවුරුදු දොළහක ඉතිහාසය තුළ වැඩිම ආදායමක් බව දැක්වේ. ශ‍්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 16ක අපනයන ආදායමක් අපේක්ෂා කරන ලද නමුත් එය ව්‍යවර්ථ වී ඇත. අපනයන වැඩිවන හා ආනයන සීමාවන ස්වභාවය ඉදිරියේ වෙළෙඳ පරතරය පහත වැටී තිබේ. 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 8.1ක් වූ ආනයන හා අපනයන අතර පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 5.1 දක්වා අඩු වී තිබීමද විශේෂයෙන් සලකා බැලිය හැකි පැත්තකි.
කෙසේ වෙතත් දුෂ්කරතාව වටහා ගත යුතුය. වෙළෙඳ ශේෂය 2021 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක සිට 2022 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 1.9 දක්වා පහතට වැටී ඇත. මෙම වෙළෙඳ පරතරය පවත්වාගෙන යන අතරවාරයේ ණය හා පොලී නොගෙවීම හේතුවෙන් වාසියක් අත්පත් කරගෙන සිටින බවද අමතක කළ යුතු නැත. ණය වාරිකය ඇමරිකානු ඩොලර් බිලියන තුනක් යැයි තක්සේරු කළහොත් ශ‍්‍රී ලංකාවේ 2022 වසරේ වෙළෙඳ හිඟය ඍණ අගයකට හැරෙන අතර එය භයානක තත්ත්වයක් බව සඳහන් කළ යුතුය.
ප‍්‍රතිසංස්කරණ යෝජනා, විදේශ සහාය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම් යනාදී වශයෙන් සියලු පැති ඉදිරියේ පවා අනතුර පහව නැත. එය අවධාරණය කළයුතු කරුණකි. විනිමය උපයා ගැනීමට ගන්නා ක‍්‍රියාමාර්ග හැර අනෙක් කිසිම අංශයකින් රටට අස්වැසිල්ලක් නොලැබේ. ශ‍්‍රී ලංකාව මොනවා හෝ නිෂ්පාදනය කර අපනයනය කළ යුතුව ඇත. අපනයනයෙන් තොරව පැවැත්මක් නැත. ශ‍්‍රී ලංකාවේ විනිමය අවශ්‍යතා සඳහා අඩුම තරමින් ඇමරිකානු ඩොලර් බිලියන විස්සක් අවුරුද්දකට අවශ්‍ය කෙරේ. සංචාරක කර්මාන්තය, විදේශ රුකියා කරන පිරිස් එවන විනිමය කෙරෙහි ඇති කරන අපේක්ෂා විනිමය අවශ්‍යතා පාලනය කරයි.
► ගැලපුමක් ඇති ප‍්‍රතිපත්ති
ශ‍්‍රී ලංකාව ලෝක තරගකාරීත්වයට ඇතුළු විය යුතුය. ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ කටයුතු කරන්නට අවශ්‍යය. ගනුදෙනු සිදුවිය යුතුව තිබේ. සබඳතා නැති තැන් සමඟ අලුත් සම්බන්ධකම් ඇති කරගත යුතුව ඇත. සුළු ප‍්‍රමාණයෙන් හෝ අපනයනය කරන්නට උත්සාහ කරන දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන පිළිවෙළක් අවශ්‍ය කෙරේ. අනවශ්‍ය එළවළු, පළතුරු හෝ ධාන්‍ය ආනයනය කරන බවට නැගෙන විරෝධතාව හා සමානව සුළු පරිමාන අපනයනකරුවන් බලගන්වන සේ යෝජනා කරන පිළිවෙළක්ද රටට අවශ්‍යය.
අපනයනය සඳහා නිපදවන දෙයක් ලෝකයේ අනෙක් රටකට වඩා අඩු වියදමකින් ඉතාම සාර්ථක භාණ්ඩයක් විය යුතුව තිබේ. ඇඟළුම් කර්මාන්තය හොඳ උදාහරණයකි. ඇඟළුම් අපනයනය වැඩි වී ඇති නමුත් බංගලාදේශයේ ඇඟළුම් අපනයනය 2021 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 40ක් බව සඳහන් කරන්නට අවශ්‍යය. අඩුම පිරිවැය, එයට හේතුවකි. ශ‍්‍රමයට ගෙවන මිල අඩු අතර බලශක්ති වියදම හා බදු සාපේක්ෂව පහළ මට්ටමක පවතී. මෙරට නිෂ්පාදකයන්ට ආර්ථිකයේ පවතින දරුණු විෂමතා බලපා ඇත. විනිමය අගය අනුව ආනයනය කරන අමුද්‍රව්‍ය මිල ඉහළය. රේගු බදු තවත් පැත්තකි. ඉන්ධන හා විදුලිය බිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි රටක අපනයනකරුවන්ටද ගැලවීමක් නැත. බැංකු පොලී අනුපාත, රජයේ බදු ඉතා ඉහළ ප‍්‍රතිශතයක වන අතර ඒවා අපනයනකරුවන්ට සංකීර්ණ තත්ත්වයක් ඇතිකර තිබේ.
බුද්ධිමතුන්, ආර්ථික විශේෂඥයන් මෙම විෂම ක‍්‍රම වෙනස්කිරීමට බල කළ යුතුය. ඇමරිකානු ඩොලර් බිලියන විස්සක අපනයන ඉලක්කයක් හැර අනෙක් පිළියමක් රටට නැත. ආනයනය නොකර අපනයනයට අවස්ථාවක්ද නැති බව අවධාරණය කළ යුතු කරුණකි.
I සාරා කන්දෙගොඩ